Monday, October 15, 2012

එන්නත් කිරීමෙන් පසු දැරියක් මියයාම ගැන පරීක්ෂණ පවත්වන්න කණ්ඩායමක්

ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහ‍ලේ දී 9 හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායමක් කරාපිටිය රෝහලට යවන බව ජාතික ඖෂධ අධිකාරීය පවසයි.

අද (15) දිනයේ එම කණ්ඩායම කරාපිටිය රෝහල වෙත පිටත්කර හරින බව එම අධිකාරීයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.

අදාළ ප්‍රතිජීවක ඖෂධය මේ වන විටත් දිවයිනේ සියළුම රෝහල්වලින් ඉවත් කර තිබේ.

මෙම දැරිය මියයාමට ‍හේතුව පරීක්ෂණ අවසානයේ නිශ්චිතව නිගමනය කළ හැකි බව හේමන්ත බෙනරගම මහතා පැවසීය.

මේ අතර කැස්සට ලබාදෙන ඖෂධයක් වන කොරෙක්ස් නැමැති සිරප් වර්ගය භාවිතා කිරීමෙන් සිදුවූ බව කියන මරණ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබේ.

එම වාර්තාවට අනුව කොරෙක්ස් සමඟ වෙනත් යම්කිසි ද්‍රව්‍යයක් කලවම් කර ලබාදීම තුළින් අදාළ මරණ සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම සිරප් වර්ගය පානය කිරීම තුළින් පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම එකම ප්‍රදේශයක පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ පිළිබඳ සෞඛ්‍ය අමත්‍යවරයා විසින් හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරිමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් අදාළ සිරප් වර්ගය පසුගිය බදාදා දිනයේ සිට මෙරට භාවිතය හා අලෙවි කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරනු ලැබීය.

Friday, October 12, 2012

ඇඳුරන්ට මෙන් වැටුප් වැඩි නොවුණොත් වෛද්‍යවරුනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා සමානව ඉහළ මට්ටමක වැටුප් වැඩි වීමක් තමන්ට ද ලබා දිය යුතු බව , රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශය කරයි.


එම සංගමය අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ , ඊට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමත්මක එළඹෙන බව ය.


රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න


’’ අප දැක්කා විශ්වවිද්‍යාල මහාචාර්යවරු මාස  3 ක කාලයක් වෘත්තිය ක්‍රියාමාර්යේ යෙදෙනවා.

එතකොට එහෙම එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදුනට පස්සේ සාකච්ඡා ලබා දෙනවා.මේක බොහොම නරක පූර්වාදර්ශයක් .
ඒහා සමානව ඊට ඉහළ මට්ටමක වැටුප් වැඩිවීමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ටත් ලබා දිය යුතුයි කියන එක තමයි අපි ප්‍රකාශ කරන්නේ.
අපි මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් මේ සම්බන්ධව වහාම අපිට සාකච්ඡාවක් ලබාදෙන්න කියලා ඉල්ලා ඉන්නවා.
සති දෙකක් ඇතුළත මේ පිළිබඳව ප්‍රතිචාරය නොලැබුණෝතින් ඒ සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා.’’


වර්ජිත සරසවි ඇදුරන් අද සිට සේවයේ.

දින 99 ක් පුරා වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (12) යළි සේවයට වාර්තා කිරීමට නියමිතයි.

 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී ඊයේ (11) ගනු ලැබූ තීරණයකට අනුවයි සරසවි ඇදුරන් සිය වර්ජනය තාවකාලිකව අවසන් කර අද සිට සේවයට වාර්තා කිරීමට තීරණය කළේ්.

 ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති පූජ්‍ය දඹර අමිල හිමියන් කියා සිටියේ රජය පාර්ශවයෙන් තමන් අපේක්ෂා කළ ආකාරයේ නිසි විසඳුමක් නොලැබුණද නම්‍යශීලිවෙමින් තාවකාලිකව වර්ජනය නතර කරන බවයි. 

ඒ අනුව එළැඹෙන සතියේ සිට උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා වර්ජනයේ යෙදුණු සරසවි ඇදුරන්ද එක්වනු ඇති.

සමහර චක්‍රලේඛ අයින් කරගන්න කැමතියිලු

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඇතැම් චක්‍රලේඛ ඉවත් කරගැනීමට එකඟතාව පළ කර ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මාධ්‍යවේදීන් සඳහා විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළු චක්‍රලේඛ කිහිපයක් ඒ අතර වන බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

මාස 03 ට අධික කාලයක් පැවති ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (11) තීරණය කිරීමෙන් පසු ලබන සඳුදා සිට විශ්ව විද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවට ආචාර්යවරුන් විශ්වාසය පළ කරයි.

ආසනික් බලපෑම පාර්ලිමේන්තුවටත් යයි

රජරට ප්‍රදේශ කිහිපයක පැතිර යන රෝගී තත්ත්වයට ආසනික් නැමැති මුලද්‍රව්‍යයේ බලපෑමක් තිබේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීමට තීරණය කොට ති‍බේ.

නොවැම්බර් මස 22 වෙනිදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර මෙම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

තත්ත්වයෙන් බාල කෘෂි රසායන මගින් සිදුවන විපත් පිළිබඳව විද්වත් සමුළුවක් ඊයේ (11) පැවැත්විණි.

ආණ්ඩුවට තමන් වහන්සේගේ මන්ත්‍රී ධුරයේ වටිනාකමක් නොමැති බව එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

හිටපු නාවික හමුදාපතිට ජනපති උපදේශක තනතුරක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සමුද්‍රීය කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.

අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා මෙරට 17 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා පසුගිය 26 වනදා නාවික හමුදා ධුරයෙන් විශ්‍රාම ගිය අතර එම තනතුර සඳහා වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පත්විය.

උඩරට මැණිකේ තැපැල් දුම්රියේ රියදුරු ඇතුළු 6 කගේ වැඩතහනම්.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රියේ රියදුරු ඇතුළු සේවකයන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. 

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක සඳහන් කළේ මෙම තැපැල් දුම්රියේ රියදුරු, රියදුරු සහායක, නියාමක, උප නියාමක, එම දුම්රියේ පිටුපස එන්ජින් රියදුරු සහ එහි රියදුරු සහායකගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

Thursday, October 11, 2012

හෙට කොළඹ කොටසකට වතුර නෑ

හෙට (12) දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැය 12 ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මාළිගාවත්ත, ආමර් වීදිය, ඩෑම් වීදිය, ශාන්ත සෙබස්තියන් වීදිය සහ ඒ අවට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත‍.

එබැවින් හෙට දිනයේ පස්වරු 8.00 සිට 13 වන දින පෙරවරු 8.00 තෙක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති නීතීඥවරුන් 21 ක් පත්වෙති

ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

අද (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී මෙම පත්වීම ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.

ලිපිය ගැන සරසවි ඇඳුරන් සෑහීමට පත්වෙන්නේ නෑ


මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවූ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටී.


එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසුවේ රජයේ ස්ථාවරය පිළිබඳව තම සාමාජිකයින් බහුතරයකගේ පැහැදීමක් නොමැති බව ය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවූ ලිපියෙන් තම ඉල්ලීම් සපුරාලීමට ප්‍රමාණවත් සහායක් ‍නොලැබෙන බව ඇතැම් සාමාජිකයින්ගේ මතය වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය .

ආචාර්ය මෙන්ඩිස් මහතා පැවසුවේ විධායක කමිටුවේ බහුතර එකගතාව මත රජය සමග පස්වරුවේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවීම පිළිබදව තීරණයක් ගන්නා බව ය .

පොලිස් සැරයන් මුදල් පසුම්බියට විදලා.

බස් රථයක ගමන්ගත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරිමට උත්සාහ දැරූ පොලිස් සැරයන්වරයෙකු කෑගල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 කෑගල්ල නගරයට ආසන්නයේදී බස් රථයේ ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ මුදල් පසුම්බිය සොරකම් කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් විසින් මොහුව අල්ලා පොලීසියට බාරදී තිබෙනවා. 

අනතුරුව සිදුකරන ලද ප‍්‍රශ්න කිරිම්වලින් අනාවරණය වුණේ සිවිල් ඇදුමෙන් සැරසී සිටි මෙම පුද්ගලයා පින්දෙනිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බවයි.

සරසවි ඇඳුරු වර්ජනය අවසන් වෙයිද ?


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීම මේවන විට නාවල විවෘත විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.


එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට අපේක්ෂිත බව ය.

වැටුප් ගැටළුව විසදීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත එකඟතා සහ රජයේ පාර්ශවයන් සමග කළ සාකච්ඡාවල එකගතා පිළිබදව විධායක කමිටු රැස්වීමේදී අවධානය යොමුකරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ ගින්නක්


වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ ජාවත්තේ පිහිටි, ප්‍රධාන කාර්යාලයේ ඊයේ රාත්‍රීයේ ගින්නක් ඇතිවී තිබේ.


ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ පොලීසිය කල දැනුම්දීමකට අනුව විදුලිබල මණ්ඩලය සමග එක්ව ගින්න මැඩපැවැත්වූ බව ය.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය

Wednesday, October 10, 2012

යුද හමුදාව 63 වන සංවත්සරය සමරයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව අද සිය 63 වන සංවත්සරය සැමරුවා. 1949 වසරේ ආරම්භ වුණු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා ඒකකද සහිතව දැනට පවතින රෙජිමේන්තු සංඛ්‍යාව 24 ක්.

 63 වන යුද හමුදා සංවත්සර සැමරුම යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩාංගණයේදීයි. 

එය  හමුදා පෙළපාලියකින් ද වර්ණවත් වුණා. අනතුරුව පැවති උත්සවය අමතමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය කියා සිටියේ සංහිඳියාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව දැන් සිදුකරන මෙහෙවර අන්තර්ජාතික ප‍්‍රජාවද අගය කරන බවයි.

සරසවි අර්බූදය ගැන හෙට ඒකාබද්ධ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බූදය පිළිබඳ හෙට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ, මේ පිළිබඳව හෙට දිනයේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවයි.

විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග යටතේ ඊයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මෙම අදහස් පළ කළේය.

බස්නාහිර පළාත් උපාධිධාරීන් ස්වේච්ඡා පදනමින් එපා

බස්නාහිර පළාත සඳහා තෝරාපත් ගුරුවරුන් පිරිසක් ස්වේච්ඡා පදනමින් සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බැව් ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.

බස්නාහිර පළාතේ ගුරු සේවයේ පුරප්පාඩු සඳහා පත්වීම් ලබාදීමට 2011 වසරේදී පැවැත්වූ තරග විභාගයේ ප‍්‍රතිඵල මත මේ වන විට පවතින පුරප්පාඩු මත එක් කොටසකට ස්ථිර පත්වීම් ලබා දී ඇත.

එම විභාගය සමත් තවත් උපාධිධාරීන් පිරිසක් මේ වන විට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවා තෝරා ගෙන ඇත. මෙසේ තෝරාගත් උපාධිධාරීන් පිරිස මාස 6 ක කාලයක් ස්වේච්ඡා ගුරුවරුන් ලෙස කටයුතු කළ යුතු බවට පළාත් අධ්‍යාපන බලධාරීන් ප‍්‍රකාශ කර තිබූ අතර, එම පත්වීම් අපේක්ෂකයින් ස්වේච්ඡා ගුරුවරු ලෙස පාසල්වලට අනුයුක්ත කිරීමට මේ වන විට පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් කටයුතු යොදමින් සිටියි.

එමෙන්ම එම පත්වීම් අපේක්ෂකයින්ට, තමන්ට පහසු ආසන්න පාසල්වල පුරප්පාඩු තිබේ නම් එම පුරප්පාඩු වෙනුවට ස්වේච්ඡා ගුරුපත්වීම් ලබාදෙන බව ද ප‍්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ 2012.10.10 දින පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සමග පැවති සාකච්ඡාවකදී ලංකා ගුරු සංගමය විසින් විමසීමක් කරන ලදී. එහිදී ලේකම්තුමිය ප‍්‍රකාශ කර සිටියේ අදාළ පත්වීම් ලබාදීමට පුරප්පාඩු ඇතිවන්නේ 2012 දෙසැම්බර් 31 දිනෙන් පසු බැවින් එතෙක් එම ගුරුවරුන් ස්වේච්ඡා පදනමින් පාසල්වලට අනුයුක්ත කරන බවත්, අදාළ පත්වීම් ලබාදීමට ස්වේච්ඡා පදනමින් සේවය අවශ්‍ය නොවන බවත්ය.

එතුමිය එසේ ප‍්‍රකාශ කළද මේ වන විට පත්වීම් අපේක්ෂිත උපාධිධාරීන්ට මෙම තත්ත්වය තුළ ස්වේච්ඡා පත්වීම් වෙනුවට ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් යම් ලෙසකින් 2012.12.31 ට පෙර ඔවුන්ගේ සේවය අවශ්‍ය නම් ඔවුන්ට ඒ සඳහා වැටුප් හා දීමනා ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි. එසේ නොමැතිව ඔවුන්ගේ සේවය කිසිදු වැටුප් හා දීමනා ලබාදීමකින් තොරව ලබාගැනීම දැඩි අසාධාරණ කටයුත්තක් බවද ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටියි.

මින්නේරියට මහ වැසි


අද පෙරවරු 8.30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 

එම අගය මිලිමිටර් 153 කි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගු මහතා පැවසුවේ එම කාලසීමාව තුළ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ අනුව කැනියොන් ප්‍රදේශයට මිලිමිටර් 72.9 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කුකුලේගඟ ප්‍රදේශයට මිලිමිටර් 72 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ලක්ෂපාන ආශ්‍රිත ප්‍ර‍දේශය ලැබී ඇති වර්ෂාපතනය මිලිමිටර් 70. 5 ක් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යෝජනාව රනිල්ගෙන් ස්ථිර කිරීම රජයෙන්.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටළුව විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කළ යෝජනාව ආණ්ඩුව අද ස්ථිර කළා. 

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම ගැටළුව පිළිබඳව වාද කිරීමට වඩා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගෙන එය කඩිනමින් විසඳාගත යුතු බවයි. 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

 ඊයේ පාර්ලිමේන්තුවේදී අදාල යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ දැනට මතුවී ඇති මෙම ගැටළුවට පාර්ලිමේන්තු කමිටුවක් හරහා විසඳුම් ලබාදී ඇති බවයි.

දිවයින අවට වායු ගෝලය කැළඹිලා

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේ, වැසි ඇති වන අවස්ථාවේදී අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගත වු පැය කීපය තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුවෙන් වාර්තා වූ බවයි.

අකුණු සැරට ජීවිත දෙකක් බිලි

මැදවච්චිය , හැළඹගස්වැව ප‍්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ නිවසේ වහලය මත තිබූ තහඩුවක් සවි කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව මැදවච්චිය පොලිසිය සඳහන් කරයි.

අකුණු සැර වැදුණු පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට රැගෙන යමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇති පුරුෂයා 35 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ බිරිද 31 හැවිරිදි වියේ පසුවන බව කියැවෙයි.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රාජකාරියේ දී භාෂාව ප‍්‍රශ්නයක් නම් 1956 අමතන්න.

මෙරට තුළදී ඇතිවන භාෂා ප‍්‍රශ්න පිළිබඳව දැනුම්දීම සඳහා රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

 1956 මෙම අංකය තුළින් රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාහි කටයුතු කර ගැනීම සඳහා පැමිණි මහජනතාව භාෂාව හේතුවෙන් ගැටලූවකට පත්ව ඇත්නම්, මෙම අංකයට පැමිණිලි කිරීම සහ උපකාර ලබා ගැනීමට හැකියාව පවතින බවයි රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. 

සිංහල මාධ්‍ය භාවිතාවන ස්ථානවල දෙමළ මාධ්‍ය භාවිතා කරන්නන්ට සිදුවන අපහසුතාවයන් සහ උතුරු නැගෙනහිර වැනි ප‍්‍රදේශවල සිංහල භාෂාව භාවිතා කරන පුද්ගලයින්ට රජයේ ආයතනවලින් කටයුතු කර ගැනීමේදී සිදුවන අපහසුතාවය වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

සරසවි ඇදුරන් බැසිල් සමඟ සාකච්ඡාවක

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ තවත් විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

ඊයේ (09) රාත්‍රියේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදාළ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති නිවේදනයක් කෙටුම්පත් කර ඇත.

එම කෙටුම්පත සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ජාවේ එකඟතා, විශ්ව විද්‍යාලවල පැවැත්වෙන ආචාර්යය සංගම්වල මහා සභා රැස්වීම් වෙත අද (10) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

එම මහා සභා රැස්වීම්වල දී එළඹෙන එකඟතාවන් පිළිබඳ හෙට උදෑසන විධායක කමිටුව රැස්ව අවසන් තීරණයක් ගන්නා බව ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

හෙද නිලධාරින් ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. 

පළාත් සභා මට්ටමෙන් හෙද නිලධාරින් බඳවා ගැනීමට සහ හෙද සේවාවේ පවතින වැටුප් විෂමතාවයට මෙලෙස විරෝධය පළ කරන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය උද්ඝෝෂණයට එක්වෙමින් සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

අද පස්වරු 2.00 - 4.00 දක්වා කාලය තුළ පනත් කෙටුම්පත විවාදයට ගන්නා බව අණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එම පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී වගන්තියෙන් වගන්තිය කියවා අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතය.

නව පනත මගින් මනාප ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර මිශ‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂිතය.

ඒ අනුව කොට්ඨාස ක‍්‍රමය යටතේ 70% ක් ද, අනුපාත ක‍්‍රමය යටතේ 30% ක් ද වශයෙන් නියෝජිතයන් තෝරා ගැනෙනු ඇති.

බහු මන්තී‍්‍ර කොට්ඨාස හඳුන්වාදීම, ඡන්ද නිර්ණ කොමිසන් සභා පිහිටුවීම සහ පරාජිත ඡන්ද වෙනුවෙන් ද අනුපාත ක‍්‍රමයක් මගින් නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම ඇතුළු නව වෙනස්කම් රැසක් මෙමගින් හඳුන්වා දී තිබේ.

ශ‍්‍රී ලංකාව තුළ බඩඉරිඟු ගම්මාන.

ශ‍්‍ර‍්‍රී ලංකාව තුළ බඩඉරිඟු ගම්මාන ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වනවා.   

මේ යටතේ, ගල්යාය, මයිලගස්වැව සහ ගලෙන්බිඳුනුවැව යන ප‍්‍රදේශවල මෙම බඩඉරිඟු ගම්මාන ඇති කිරීමටයි සූදානම් වන්නේ. 

බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන් 730 දෙනෙකු මේ වනවිටත් ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

 ශ‍්‍රී ලංකාව වාර්ෂිකව බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් දස දහසක් අපනයනය කරන අතර එය තවදුරටත් වැඩි කිරීමටයි මෙලෙස බඩඉරිඟු ගම්මාන පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ. 

දැනට, කෘෂිකර්ම අමාත්‍යාංශය බීජ බඩඉරිඟු කිලෝවක් රුපියල් 35 ක මුදලකට ගොවීන්ට ලබා දෙනවා.

තිරිගු පිටි මිල වැඩිවීමේ අවදානමක්.

ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති කාලගුණික විපර්යාසය මෙරට පාන්පිටි නිෂ්පාදනවල මිල වැඩිවීමට බලපා තිබෙනවා. 

වියළි කාලගුණය හේතුවෙන් එරට ප‍්‍රදේශ රැසක තිරිඟු වගාව විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ. 

ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් තිරිඟු පිටි ගෙන්වනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. 

මේ හේතුව නිසා තිරිඟු පිටිවල මිල ගණන් පසුගිය දින කිහිපය තුළදී ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පාන් මිල ඇතුලූ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී වැඩි විය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකින් සැක කටයුතු මළ සිරුරු 3 ක්

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරු 3 ක් සොයාගෙන තිබේ.

කුරුණෑගල වැව පාමුල ඇළක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර මිය ගිය පුද්ගලයා තෙලියගොන්න, වෙඬරුවැව පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි.

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව කුරුණෑගල පොලීසිය පැවසීය.

මේ අතර කළුගඟ ආශ‍්‍රිත කැලිඩෝ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

වයස අවුරුදු 60 ක් පමණ වන, මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව කළුතර උතුර පොලීසිය පැවසුවේය.

ගෙල සිරකර මරා දැමූ බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් ද කරුවලගස්වැව, පාවට්ටාමඩුව ප‍්‍රදේශයේ මී ඔයේ තිබී සොයාගෙන තිබේ.

නිවසේ දී අනියම් පුරුෂයා සමඟ සිදුවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව කරුවලගස්වැව පොලීසිය පැවසුවේය.

පසුව අදාළ සැකකරු විසින් මළ සිරුර මී ඔයට ගෙන ගොස් දමා ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Monday, October 08, 2012

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක් මියයයි.

හංවැල්ල - නිරිපොළ ප‍්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
 
 හංවැල්ල පොලීසිය සඳහන් කළේ අද අලූයම මෙම තරුණයා නිවස ආසන්නයේ ඇති අඹ ගසක ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.  

තරුණයාගේ මව විසින් අලූයම් කාලයේදී සිය පුතා නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. 

අනතුරුවයි මෙම සිද්ධිය දැක පොලීසියට පැමිණිලි කර ඇත්තේ. ජීවිතක්‍ෂයට පත්ව ඇති තරුණයාගේ මව හංවැල්ල පොලීසියට සඳහන් කර ඇත්තේ ඊයේ රාත‍්‍රියේ ක‍්‍රිකට් තරඟය නරඹා අලූයම් කාලයේදී නිවසට පැමිණි තම පුතා රාත‍්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නින්දට ගිය බවයි. 

කෙසේ වෙතත් සියදිවි නසාගැනීමට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හෙළිවී නැහැ.

මේ අතර හැටන් - කුඩාගම ප‍්‍රදේශයෙන්ද තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයෑමේ සිද්ධියක්  වාර්තාවුණා.  


ඊයේ රාත‍්‍රියේ ක‍්‍රිකට් තරඟය නරඹා සිය නිවෙස තුළට පැමිණීමෙන් අනතුරුව ඔහු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි හැටන් පොලීසිය සඳහන් කළේ. 

මියගිය තරුණයා 26 හැවිරිදි දෙමළ ජාතිකයෙක්. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇති බවයි.

 සිය නිවසේ ජීවත්වූ දෙමාපියන්ට එළියට යන ලෙස පවසා තරුණයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


මේ අතර ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයේ හිටපු ක‍්‍රීඩිකාවක වන රණවීරගේ ප‍්‍රීතිකා කොළඹ කාන්තා රෝහලකදී අද අලූයම හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. 


දරු ප‍්‍රසූතිය සඳහා ඊයේ රාත‍්‍රියේ ඇය රෝහල් ගත කළ බවයි වාර්තා වුණේ.

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ අවධානයෙන් ඉන්න. පොලීසිය.

මුදල් නෝට්ටු ගණුදෙනු කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

රුපියල් 500, 1000, 2000 සහ රුපියල් 5000 නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනු කරන බවට දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන එම ඉල්ලීම කරන බවයි පොලීසිය සඳහන් කළේ. 

කන්තලේ - අග්බෝපුර - හබරන ප‍්‍රදේශයේ දී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 150ක් සමග තරුණයින් තුන් දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

මෙම කරුණු සැළකිල්ලට ගෙන පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු ගනුදෙනු කිරීමේ දී නෝට්ටුවල දිය සලකුණ ඇද්දැයි පරීක්ෂා කර බලන ලෙසයි.

මහේල නායකත්වය අතහරී

මහේල ජයවර්ධන පන්දුවාර 20/20 තරඟවලදී කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වූ පසු තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබු බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් එක්දින හා ටෙස්ට් තරඟවලදී තවදුරටත් කණ්ඩායමට නායකත්වය ලබාදීමට සුදානම් බව මහේල පවසා තිබේ.

20/20 කිරුළ කොදෙව්වන්ට

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ අවසන් තරඟයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින්ය.

කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 138 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී සියලු දෙනා ලකුණු 101ට දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන ලකුණු 33ක් ලබාගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 23ක් ලබා ගන්නා ලදී.

නුවන් කුලසේකර පන්දු 13 කදී ලකුණු 26ක් ලබා ගත්ත ද එය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යාමට ප්‍රමාණවත් නොවීය.

තිලකරත්න දිල්ෂාන් ලකුණු නොලබාම දැවී ගිය අතර ජීවන් මෙන්ඩිස් හා තිසර පෙරේරා ලකුණු 3 බැගින් ලබා සිටියදී දුවද්දි දැවී ගියේය.

ලහිරු තිරිමාන්න ලකුණු 4ක්, ලසිත් මාලිංග ලකුණු 5ක් අජන්ත මෙන්ඩිස් ලකුණු 1ක්, අකිල ධනංජය නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වු මාලන් සැමුවෙල් ලකුණු 78ක් ලබා ගත් අතර කාගේත් කතාබහට ලක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල් පන්දු 16කදී ලබා ගත්තේ ලකුණු 3ක් පමණී.

කොදෙව් කණ්ඩායමේ ඉණිම සුණු විසුණු කළ අජන්ත මෙන්ඩිස් ලකුණු 12ට කඩුලු 4 ක් බිඳ දමන ලදී.

ඒ අනුව සිව්වැනි වරට පැවැති පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

විනිසුරුවන් හා නීතිඥයින් උසාවි වර්ජනය කරයි


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට නාදුනන කණ්ඩායමක් විසින් කළ පහරදීමට එරෙහිව හෙට (08) විනිසුරුවන් රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ විනිසුරුවරුන් හෙට රාජකාරී ඉවත්වීමට නියමිතය.

මේ අතර නීතිඥවරුන් ද හෙට සහ අනිද්දා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

හෙට පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමෙන් පසු කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා විරෝධතා පා ගමනක නිරතවීමට ද නීතිඥවරුන් තීරණය කර ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් කිහිපයක් එක්ව අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.

Sunday, October 07, 2012

T 20 කුසලානය කාටද?

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.

 ඒ, කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදීයී. තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 07 ට ආරම්භ වනවා.

අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ප්‍රහාරයක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ.


ජාතික රොහලේ ප්‍රකාශිකාවක පැවසූවේ ,තුවාල ලැබූ මංජුල තිලකරත්න මහතා මීට සුළු වේලාවකට පෙර ජාතික රොහලට ඇතුළත් කල බව ය.

ජනතා සේවයට ඇති බාධා ඉවත් කළ යුතුයි

ජනතාවට සේවය කිරීමේදී බාධා පමුණුවන සෑම පනතක්ම, කඩිනමින් සංශෝධනය කළ යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඇතැම් ප‍්‍රායෝගික නොවන පනත් හේතුවෙන් මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ අතරමඟ නවතා දැමිය නොහැකි යැයි ද ඔහු පෙන්වාදෙයි.

ලබන වසරේ අයවැය සැකසීමට අදාළව පළාත් පාලන නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (06) පැවැති රැස්වීමකදී ඔහු මේ බව පැවසුවේය.

පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සඳහා රැස්වීම පැවැත්විණ.

හපුතලේදී අකුණුසැර වැදී විදේශිකයන් දෙදෙනෙකු මරුට.

හපුතලේ - ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ අද පස්වරුවේ අකුණුසැර වැදීමෙන් විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

තවත් තුන් දෙනෙකු එහිදී තුවාල ලැබූ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. 

තුවාල ලැබූවන් හපුතලේ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

සරසවි ඇඳුරන්ගේ තීරණය ලබන සඳුදා


ලබන සඳුදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග පවත්වන සාකච්ඡාවේ සාර්ථකත්වය මත, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන්නේද යන්න පිලිබඳ තීරණයක‍ට එ‍ළඹෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.


එහි සභාපති ආචාර්ය නිර්මාර් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසුවේ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අද සවස පැවති  සාකච්ඡාවෙන් අනතුරුව ය.

අද පැවති සාකච්ඡා පලදායී අයුරින් පැවති බවද ඔහු සඳහන් කළේය.

Friday, October 05, 2012

දිවි නැඟුම ඉවත් කර ගැනීමට සූදානම් නෑ

ජනාධිපතිවරයා දිවි නැඟුම පනත ඉවත් කරගැනීමට පියවර නොගනු ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඉදිරියට තැබු පියවරක් යළි පසුපසට නොගන්නා අයෙකු වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

බත්තරමුල්ලේ දී අද (05) පැවති ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී සංගමයේ 15 වන නියෝජිත සම්මේලනය අමතමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

යෝජිත දිවිනැඟුම පනත මගින් ගම්වල ප්‍රජාමූල සංවිධාන යළි ශක්තිමත් වන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේය.

එවිට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අහෝසි වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වාදිණි.

අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක ආධාරයක්

මන්නාරම, දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සේවය සංවර්ධනය කිරීම සදහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 700 ට ගොවි උපකරණ ලබාදීමට නියමිතය.

එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7 ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකය.

වතුර පොම්ප, දියර ඉසින යන්ත්‍ර, උදළු තල සහ විල්බැරෝ මෙන්ම අඹ, පොල් සහ කොස් පැළ ද බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බංග්ලාදේශයේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ට උපදෙසක්.

බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර ලාංකිකයන් වෙත ඩකා නුවර පිහිටි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

 පසුගිය 29 වැනිදා බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට විරෝධය පළ කරමින් ඊයේ කොළඹ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. 

එම අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලයට බෝතල් ප‍්‍රහාරයක් ද එල්ල වුණා. මේ හේතුවෙන් බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර ලාංකිකයන්ට අනර්ථයක් සිදුවිය හැකි බැවින් මෙම ආරක්ෂක පියවර ගත් බවයි ඩකා නුවර පිහිටි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. 

ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති උපදේශක මාලාවට අනුව තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස බංග්ලාදේශයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් සරත් වේරගොඩගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය අවධානයෙන් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

වැසි නොලැබුණොත් විදුලිබල ක්ෂේත‍්‍රය බරපතල අර්බුදයක.

ඉදිරි දිනවලදී වැසි නොලැබුණහොත් විදුලිබල ක්ෂේත‍්‍රයේ බරපතල තත්ත්වයක් උද්ගත වීමේ දැඩි අවදානමක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. 
 
කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික ආපදාවන් හෝ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ජල විදුලි උත්පාදනය අසාමාන්‍ය ලෙස අඩුවිය හැකි බවයි. 

මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

දිගින් දිගටම ශ්‍රවණාබාධ පවතින්නේ නම් වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න

කිසියම් පුද්ගලයෙකුගේ කනේකැසීමක් හෝ ශ්‍රවණාබාධයක් දිගින් දිගටම පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවක් කරගන්නා ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.
 
මෙරටපුද්ගලයෙකුගේ කනේ සිටියදි මයිටාවන් සොයා ගැනිමෙන් අනතුරුව පසුගිය දිනක  තායිවාන  ජාතිකයෙකුගේ  කනේ මයිටාවන් සිටි  හමු වු බව ජාත්‍යන්තර සඟරාවක පළ වී ඇත.

දඹුල්ලේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට.

දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න අල්ලස් හෝ ඳුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් දඹුල්ල නගර මධ්‍යයේදී අද (05) අත්අඩංගුවට ගනු ලැබුවා.  

දඹුල්ල - ගල්වැටියාව ප‍්‍රදේශයේ පදිංචි කොන්ත‍්‍රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

මේ වනවිට දඹුල්ල නියෝජ්‍ය නගරාධිපතිවරයා ගලේවෙල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, ඔහු අද (05)  දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ ඳුෂණ විමර්ෂණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු  කියා සිටියේ.

 


දරුවන්ට වස දීලා මවත් වසබීලා.

බදුල්ල - හාලිඇල ප‍්‍රදේශයේ කාන්තාවක් සිය දරු දෙදෙනාට වස පොවා ඇයද වස පානය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා. 

මෙසේ වස පානය කර ඇත්තේ හාලිඇල සෙන්ට්ජේම්ස් වත්තේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය කියා සිටියේ. 

කිරි වීදුරුවකට වස මුසුකර ඇය තම දරු දෙදෙනාට වස පොවා ඇති අතර, මේ වනවිට ඔවුන් තිදෙනාම බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. 

ඔවුන්ගේ තත්ත්වය බරපතල බව අප කළ විමසීමකදී රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. 

මෙම කාන්තාව සිය සැමියා සමග ඇතිවු ආරවුලක් දුරදිග යාම නිසා මෙම අපරාධය සිදුකරගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

විදුලි සේවකයින් වර්ජනයකට අරඅදී.

යළි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සූදානම් වනවා. 

එහි මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල්  සඳහන් කළේ සේවක පළිගැනීම් ඇතුළු කරුණු කිහිපයක් මූලික කරගනිමින් මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට නියමිත බවයි. 

කෙසේ වෙතත්, ලබන සඳුඳා මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ජාවක් පවත්වන අතර, එහිදී විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට එළැඹෙන බවයි ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් පැවසුවේ.

සරසවි ඇදුරෝ හෙට බැසිල් හමුවෙයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හෙට (06) දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පවසයි.

ඒ සඳහා මේ වනවිට තම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ඒ අනුව හෙට දිනයේ විශ්ව විද්‍යාල අර්බුධය සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදුකෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එසේවුව මීට පෙරාතුව ඊයේ (04) විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ රජය සාකච්ඡාවක් පවත්වන බවට ප්‍රචාරයක් ගෙන ගියද ඒ වනවිට එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු දැනුම්දීමක් කළ නොතිබූ බවත් ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එස්.එම්.ට හිටපු තැන නියෝජ්‍ය ඇමති පදවිය ලැබෙයි

ගොවිජන සේවා හා වනජීවි කැබිනට් අමාත්‍යවරයාව සිට ධූරයෙන් ඉල්ලා අස්වූ එස්.එම් චන්ද්‍රසේන මහතා, ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

මීට සවල්ප මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුව ඇති බව සඳහන්ය.

උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් එස්.එම් රංජිත් නමැති ‍ස්වකීය සොයුරාට පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය ලබාගනුවස් තමන් කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඔහු පවසා තිබිණි.

කෙසේ වෙතත් හෙතෙම අද තමන් කැබිනට් අමාත්‍ය ධූරය දැරූ අමාත්‍යංශයේම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

Thursday, October 04, 2012

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට බෝතල් ප‍්‍රහාර.

බංග්ලාදේශයේ - බෙංගාසි  ප‍්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල හා එහි වෙසෙන බෞද්ධ ජනතාවට මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන හිංසාකාරී කි‍්‍රයාවන්ට විරෝධය පළ කිරීම් කිහිපයක් අද (04) දිනයේද පැවැත්වුණා.

බොදු බල සේනා සංවිධානය අද (04) පස්වරුවේ කොළඹ මහ නගර සභා පිටියේදී සත්‍යග‍්‍රහයක නිරත වුණා. අනතුරුව, ඔවුන් පාගමනින් ගොස් කොළඹ - වෝඞ් පෙදෙසේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා.

 මෙම විරෝධතාව අතරතුරදී බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට ජල බෝතල් ප‍්‍රහාරයක්ද එල්ල වුණා. එයින් එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ ජනේලවල වීදුරු කිහිපයක් බිඳී ගිය බවයි එහි සිටි අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ. 
මෙම විරෝධතාව අසල සිටි එක්තරා පුද්ගලයෙකු සැකපිට පොලිසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ස්ථානයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණද පැමිණියා.