Monday, November 19, 2012

ලක්ෂයක අල්ලසකට පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති හා සැරයන්වරයෙක් මාට්ටු

රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමට තැත්කළ පිටකොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් අදාළ මුදල කොටුව පොලිස් ස්ථාන‍යේදී ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

ස්වර්ණාභරණ අලෙවි සැලකින් සොරකම් කරන ලද රන් භාණ්ඩ තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය සිකුරාදා ලබාදෙන අවස්ථාවේදී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිටකොටුව පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර ටිකිරි බණ්ඩාර වි‍ජේරත්න හා පොලිස් සැරයන් උපුල් වසන්ත කුමාර (49278) යන දෙදෙනාය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය මිස පුද්ගලයින් ආරක්ෂා කරන්න උවමනාවක් නෑ

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම පරම වගකීම යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (19) අය වැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් පුද්ගලයින් ආරක්ෂා කිරීමට තම පක්ෂයට උවමනාවක් නැතැයිද ඔහු කියා සිටියේය.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගය විභාග කිරීම විනිවිද ආකාරයෙන් සිදුවිය යුතු බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තරය අවධානයෙන් සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාගයට ගන්නා බව එහිදි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

Friday, November 02, 2012

අවදානමක් ඇත්නම් දුරකතන ඇමතුමක් දෙන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් එක්ලක්ෂ තිස්දහසක් පමණ අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ‍එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාතර, ගාල්ල, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.

යම් ප්‍රදේශයක අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව තොරතුරු 0112 670 002 යන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

කොත්මලේ සහ ලක්ෂපාන යන ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත.

විමලසුරේන්ද්‍ර, කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇති බව ‍ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල ජලාශය ද වාන් දොරටු විවෘත කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංගමුව වැව ඇතුළු මධ්‍ය ප්‍රමාණයේ වැව් 17 ක් ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

ජීවන වියදම ඉහළයාම පසෙක තබා 13 ගැන කතාකරනවා

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2005 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමේ සංවිධාන කටයුතු අමතක කර ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ පැවති හමුවක දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට ඒකාධිපති ආණ්ඩුවක් ලෙස විශාල බලතල ඇතැයි එහිදී විපක්ෂ නායකයා අවධාරණය කළේය.

ජීවන වියදම ඉහළ යාම ගැන අවධානය ඉවත් කිරීමට 13 වන සංශෝධනය පිළිබඳ කතා කරන බව හෙතෙම පැවසුවේය.

ඉදිරියේ දී ඉන්ධන මිල තවත් ඉහළ යා හැකි බවත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශී වෙමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අපදාවට පත් සංඛ්‍යාව ඉහළට.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 137,976 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 දිස්ත‍්‍රික් 17කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 4 දෙනෙකු මියගොස්, තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

 වර්ෂාව සහ ජල ගැලීම්වලින් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් එම දිස්ත‍්‍රික්කයේ පවුල් 11,152 කට අයත් පුද්ගලයින් 49,997 ක් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා. 

එමෙන්ම, අයහපත් කාලගුණික තත්ත්වය බලපෑ දිස්ත‍්‍රික්ක 17 තුළ පවුල් 3686 කට අයත් පුද්ගලයින් 14,596 දෙනෙකු අවතැන් කඳවුරු 96 ක මේ වනවිට රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

අගවිනිසුරුවරියට චෝදනා ඇත්නම් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා එල්ල වී ඇත්නම් ඒ පිළිබඳ විභාග කිරීමට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි.

විනිසුරුවරයෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කාර්යය පටිපාටිය කඩිමුඩියේ සකස් කළ එකක් බැවින් එහි දුර්වලතා රැසක් පවතින බව ඔහු පෙන්වාදෙයි.

දෝශාභියෝග ‍යෝජනාව ගෙන ඒම ඒ පිළිබඳ විමර්ශනය කිරීම සහ තීන්දුව ලබාදීම ආණ්ඩු පක්ෂයෙන් සිදුකිරීම තුළ එය අසාධාරණ තත්ත්වයක් බව සරත් එන් ද සිල්වා මහතා පවසයි.

සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දෝශාභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝශාභියෝගයක් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයට නොව ආණ්ඩුවට එරෙහිව බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලබන 9 ‍වැනිදා රැස්වීමට නියමිතය.

වැස්ස නිසා විදුලි ඉල්ලුම 30 % න් පහලට

අධික වැසි හේතුවෙන් දෛනික විදුලිබල ඉල්ලුම 30% ක් දක්වා පහත බැස ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ශීත සහ අකුණු සහිත කාලගුණය හේතුවෙන් වායුසමන යන්ත්‍ර සහ විදුලි පංකා භාවිතය අඩුවීම, රූපවාහිනිය ඇතුළු විදුලි උපකරණ සීමාවීම මීට හේතු බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට විදුලිය ඉල්ලුම ගිගා වොට් පැය 36 ක් වේ.

පසුගිය දින 03 ක් පැවති කාලය තුළ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 26 ට අඩු මට්ටමේ පැවති බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර බලාගාර ආශ්‍රිතව පවතින කාසල් රී, මාවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශ පිටාර ගලන මට්ටමක පැවතුන ද වික්ටෝරියා, සමනල වැව සහ රන්දෙණිගල ජලාශවල ජල මට්ටම 30% ක මට්ටමේ පමණක් පවතින බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත