Thursday, October 04, 2012

සරසවි ඇදුරන්ගේ සාකච්ජාව අදත් නැහැ.

සරසවි ආචාර්යවරුන්ගේ ගැටළුව විසඳීමට අද දිනයේ සාකච්ජාවක් ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (03) ප‍්‍රකාශ කළත් එවැනි සාකච්ජාවක් මෙතෙක් පැවැත්වුණේ නැහැ. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කළේ අධ්‍යාපනයට 06% ක් වෙන් කිරීමේ තම ඉල්ලීම මෙම වර්ජනය විසඳීමට බාධාවක් නොවන බවයි.

ගින්නට හසු වූ දරුවා දිවියෙන් සමු ගනි


රාගම තේවත්ත පාරේ නිවසක අද අලුයම ඇති වු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබු 11 හැවිරිදි දරුවා ජිවිතක්ෂයට පත්ව තිබේ.
 

පොලීසිය පැවසුවේ  රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන 10.00ට පමණ ඔහු මියගිය බවයි.

අද අලුයම ඇති වු ගින්නෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

පොලීසිය පැවසුවේ ගින්නෙන් එකම පවුලේ මව,පියා, දියණිය සහ පුත්‍රයා තුවාල ලැබු බවයි.

මව සහ පියා 35 හැවිරිදි වියේ පසු වු අතර තුවාල ලැබු දියණිය‍ගේ වයස අවුරුදු 9 කි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති.

ශබ්දයක් සමග සියඹලාණ්ඩුව ඉරිතලා යයි


ශබ්දයක් සමඟ මොණරාගල, සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප්‍රදේශයේ පාසලක ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 

අද පෙරවරු 10.30 ට මෙය සිදුව තිබේ.

එම සිදුවීම පිළිබඳ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව විද්‍යාලයේ විදුහල්පති පි.ඩබ්ලිව්. සුදත්සිරි දර්ශන මහතා මෙන්ම ශිෂ්‍යාවක ද මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වීය.

මේ පිළිබදව අප කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා පැවසුවේ මෙතෙක් එවැනි සිදුවීමක් පිළිබඳව තම ආයතනයට වාර්තා වී නොමැති බවයි.

සියල්ලන්ම භාෂා පරීක්ෂණයෙන් අසමත්


භාෂා අධිකාරිවරුන් බඳවා ගැනීමට පරික්ෂණ පැවැත්වුව ද ඒ සඳහා කිසිදු සුදුස්සකු තෝරාගැනිමට නොහැකි වි ඇත.
 

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ අඩුම වශයෙන් භාෂා දෙකක හෝ ප්‍රවීනතාවක් සහිත එක් අයෙකුවත් තෝරාගැනිමට නොහැකි වූ බවයි.

දැනට භාෂා පරිවර්තකයින් ලෙස කටයුතු කරන රජයේ නිලධාරින් එම පරික්ෂණයට කැඳවා තිබිණ.

භාෂා පරිවර්තකයින්ගේ කාර්යන් සහතික කිරිම භාෂා අධිකාරිවරුන් විසින් සිදුකරනු ලබයි.

භීෂණ සමයේ පුද්ගල ඝාතනයකට චෝදනා ලැබ සිටි 2 කුට නිදහස.

1986 වසරේ භීෂණ සමයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි චෝදනා ලැබ සිටි හමුදා නිලධාරියෙකු සහ භික්ෂූන් වහන්සේ නමක් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පුත්තලම මහාධිකරණය නියෝග කර තිබෙනවා. පුත්තලම මහාධිකරණ විනිසුරු එස්. ඞී.ඒ. තාසීම් මෙසේ නිදොස් කොට නිදහස් කළේ එවකට ආණමඩුව යුද හමුදා කඳවුරේ අණ කණ්ඩය භාරව සිටි යුද හමුදා නිලධාරියා සහ ගල්කුලම විහාරස්ථානයක වැඩ වාසය කල හිමිනමක්. පුත්තලම - කොට්ටකච්චිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා කර තිබුණා. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත් කරමින් කියා සිටියේ චූදිතයන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය ප‍්‍රමාණවත් ආකාරයෙන් සාක්ෂි ඉදිරිපත් නොකළ බවයි. ඒ අනුව සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරිය ප‍්‍රකාශ කළා.

තර්ස්ටන් පිටිය නොසන්සුන්

කොළඹ,තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ 20 - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වට තරග දෙකට අදාළව ප්‍රවේශ ප්‍රත්‍ර අලෙවිකරන කවුන්ටරය අසළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

20 - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වට තරග දෙකට අදාළව ප්‍රවේශ ප්‍රත්‍ර 3,314 ක් හා 5,107 ක් තවදුරටත් මිලදී ගත හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ දිනයේ නිවේදනය කළේය.

ඒ අනුව එකී ප්‍රවේශ පත්‍ර කොළඹ,තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පෙ.ව 9.00 සිට මිලදී ගත හැකි බවත්,එසේම අවසන් තරගයේ ප්‍රවේශපත්‍රද එළඹෙන සෙනසුරාදා දිනයේ අදාළ ස්ථානයෙන්ම මිලදී ගත හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

චන්ද්‍රිකා වැව අසලින් වාසනාවේ පෙරනිමිති පහලවෙයි

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව මැණික් ඉල්ලම් පවතින බවට තහවුරු වී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

චන්ද්‍රකා වැවේ ප්‍රතිසංස්කරණ අතරතුර මැණික් ඉල්ලම් පවතින බවට තොරතුරු ලැබුණු බව එම අධිකාරීයේ අධ්‍යක්ෂ ‍ජෙනරාල් නිමල් බන්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව විශේෂ කණ්ඩායමක් ‍යොමු කර ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බවත් එහිදී මැණික් ඉල්ලම් ඇති බවට තහවුරු වූ බවත් නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

Wednesday, October 03, 2012

මඩකලපුවේ ඡන්ද ප්‍රතිඵල අහෝසි කරන්නැයි, පෙත්සමක්

නැගෙනහිර පළාත් සභාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම නීත්‍යානුකූල අන්දමට සිදු නොවූ බව පවසමින් එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල අහෝසි කරන ලෙස ඉල්ලා ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අද අභියාචනාධිකරණය හමුවේ ඡන්ද පෙත්සමක් ගොනු කළේය.
 

එම පෙත්සම ගොනු කරනු ලැබුවේ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික්කයට තරග කළ අපේක්ෂකයන් 4 දෙනෙකු විසිනි.

පෙත්සමෙන් පැවසෙන්නේ ඡන්ද ව්‍යාපාරය පැවති කාලයේ සිය පෙරමුණට විවිධ බලපෑම් එල්ල කළ බවත් , වාකරේ සිය මැතිවරණ කාර්යාලයකට ගිනි තැබු බවත්ය.


ඡන්දය ගණන් කෙරෙන දිනයේදී ඔවුන්ගේ නියෝජිතයින්ට බොහෝ ඡන්ද මධ්‍යස්ථානවලට යාමට අවසර නොදුන් බව එම පක්ෂය සඳහන් කළේය.


ඡන්දය ගණන් කිරීමේදී තරග කළ පක්ෂවල නියෝජිතයන් එහි සිටිය යුතු බව මැතිවරණ නීතියේ සඳහන් වන නමුත්, තම පෙරමුණට එහි සිටි නිලධාරින් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට ඇතුළුවීමට ඉඩ නොදුන් බව පෙත්සමෙන් දැක්වේ.


එහෙත් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත්  ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්ට එහි ඇතුළු වී ඕනෑම දෙයක් කිරීමට අවසර දී තිබු බව ද පෙත්සමේ සඳහන්ය.


මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා විනාශ කිරිම වළක්වාලමින් තහනමක් මැතිවරණ කොමසාරිස්වරයාටත්, තේරිම් භාර නිලධාරින් දෙදෙනාටත් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද යළි ගණන් කරන ලෙසත් , එතෙක් එම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු මන්ත්‍රීවරුන් පිළිබද ගැසට් ප්‍රකාශයක් නිකුත් කිරීම නොකරන ලෙසත් වගඋත්තරකරුවන්ට දන්වන්න යැයි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව හෝ එරට වැසියන් ගැන අහිතක් නැහැ


මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
 

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් හමු වු අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා රජය චීනයට වඩා පුළුල් දැක්මකින් යුතුව ඉන්දියාව දෙස බලන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය.

මෑතකදී තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයින් පිරිසකට එල්ල වු ප්‍රහාරය පීඩාකාරී සිද්ධියක් වුවත්, මෙරට කිසිදු වැසියෙක් ඉන්දියාවට හෝ එරට වැසියන් පිළිබඳ අහිතක් නොමැති බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය මාධ්‍යවේදීන් මෙහිදී විමසා ඇත්තේ තමිල්නාඩුවෙන් එල්ල වන විරෝධය හමුවේ ශ්‍රි ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින් පුහුණු කිරිමේ කටයුතු ‍චීනයට හෝ වෙනත් රටකට යොමු කරන්නේද යන්න පිළිබඳවයි.

විවිධ විකල්ප පැවතියත්, ඉන්දියාව සමග පවතින පුහුණු වැඩ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි, ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේය.

දෙවසරක් පුරා අපයෝජනය වු දැරිය කුරුවිටින් හමුවෙයි



වසර දෙකකට පෙර බදුරලියේදී පැහැර ගැනීමට ලක්වූ  දස හැවිරිදි දැරියක්, අද කුරුවිට වතු නිවාසයක සිටියදී සොයා ගෙන තිබේ.
 

පොලීසිය සඳහන් කළේ, 8 වැනි වියේදී පැහැර ගැනීමට ලක් වූ දැරිය  වසර දෙකක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.

මෙම දැරිය 2010 වසරේ දෙසැම්බර් 01 වැනි දින අපයෝජනයට ලක්වු බවට බදුරලිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව ද පොලීසිය පැවසීය.

මෙම දැරිය පැහැර ගනු ලැබූ පුද්ගලයා මේ වන විට පලා ගොස් තිබේ.

දැරියගේ මව නොමැති අතර ඇගේ පියා රෝහල්ගතව සිටියදී, ඔහු බැලීමට රැගෙන යන බව පවසා, සැකකරු මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ, වෛද්‍ය පරික්ෂණයට යොමු කිරීම සඳහා දැරිය රත්නපුර රෝහල වෙත යවා ඇති බවයි.
සබරගමුව හා දකුණු පළාත් සභාවට ඉදිරිපත් කරන ලද "දිවිනැඟුම පනත් කෙටුම්පත" වැඩි ඡන්දයෙන් සම්මතවී ඇති බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සබරගමුව පළාත් සභාවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 15 න්ද, දකුණු පළාත් සභාවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත වැඩි ඡන්ද 21 න්ද සම්මත වී තිබේ.

දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සිල්වා මහතා විසින් පනත් කෙටුම්පත පළාත් සභාවට ඉදිරිපත් කළ අතර එය වැඩි ඡන්ද 21 න් සම්මත විය.

එහිදී පනතට පක්ෂව ජන්ද 36 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 15 ක් පමණි.

සබරගමුව සභාව ආරම්භයේදී ආණ්ඩුකාරවරයා විසින් එවා තිබූ නිවේදන ප්‍රකාශයට පත් කරමින් සභාපති කංචන ජයරත්න මහතා කියා සිටියේ "දිවි නැඟුම පනත් කෙටුම්පත" පිළිබඳ පළාත් සභාවේ මතය විමසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ අංක 154 (උ)වගන්ති ප්‍රකාරව ආණ්ඩුකාරවරයා , එම පනතේ කෙටුම්පතක් මෙම සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය පසුගිය සභා වාරයේදී මහ ඇමති මහීපාල හේරත් මහතා විසින් සභා ගත කළ බවයි.

අද විවාදය අවසානයේ මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 27 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 12ක් පමණි. ඒ අනුව කෙටුම්පත වැඩි ඡන්ද 15 කින් සම්මත වූ බව සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න සහ සුජිත් සංජය පෙරේරා යන එජාප මන්ත්‍රීවරුන් සභාවට සහභාගී නොවන බවට දන්වමින් කල්තියා නිවාඩු ඉල්ලා තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ජයතිස්ස රණවීර පළාත් සභා මන්ත්‍රීවරයා සහ රෝගාතුරව සිටින පළාත් අමාත්‍ය ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාද අද සභාවට සහභාගී නොවිණි.

Tuesday, July 24, 2012

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කිසිදු මතකයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.