පාසිකුඩා වෙරළ ආසන්න නොගැඹුරු ගල්පරයක් අසළ ගිලී ඇති නැව් හතරක සුන්බුන් සොයාගත් බව ගාල්ලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ කියති. 2012 වර්ෂයේ සිට වරින් වර එහි කිමිදෙමින් මේ ගවේෂණය කළ බවත් පසුගිය අගෝස්තු මාසයේ දී විශාල වාෂ්ප නැවක කොටස් හමුවීමත් සමග එතැන ඇති නැව් ගණන හතරක් බවට තහවුරු කැරගත හැකි වූ බවත් ඔවුහු කියති.
සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ නැව් 19 වැනි හා 20 වැනි ශතවර්ෂයේ දී ගිලී යන්නට ඇති බවයි. ලෝකයේ එකම ස්ථානයක මෙතරම් නැව් සංඛ්‍යාවක් ගිලී ඇති වෙනත් තැනක් ගැන දැනගන්නට නැතැයි ද එබැවින් මෙය ලෝක සමුද්‍ර පුරාවිද්‍යා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බව ද පර්යේෂකයෝ කියති.
ජාත්‍යන්තර නැව් මාර්ගයට ආසන්නයේ ඇති නොගැඹුරු ගල්තලාවේ හැපී මේ නැව් හතරම ගිලී ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. යකඩ කඩන්නන් විසින් නැව්වල කොටස් විශාල වශයෙන් ඉවත්කැර ඇති බැවින් නැව් ස්ථිරව ම හඳුනාගැනීම අපහසු වී ඇතැයි ද මුතුකුමාරණ මහතා පවසයි. බොයිලේරු හා එන්ජින් කොටස් තවමත් ඉතිරිව ඇති බැවින් මෙතැන ඇති නැව් හතරෙන් තුනක් වාෂ්ප නැව් බව ස්ථිර වශයෙන් ම හඳුනාගෙන ඇත.

No comments:
Post a Comment
Post Your Comment