Wednesday, February 06, 2013

හිමිනම ඝාතනය සම්බන්ධයෙන් තවත් 3 ක් පොලිස් අත්අඩංගුවට

මොරටුව එගොඩඋයන සුන්දෝපනන්ද විහාරාධිපති ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර උතුර පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මොවුන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය පැවසුවේය.

භික්ෂූන් වහන්සේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නියෝජ්‍ය නගරාධිපති මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගවට ගත් බව පොලීසිය පැවසුවේය.

හොරට පළිබෝධනාශක සැකසූ අය මාට්ටු

පළිබෝධ නාශක ව්‍යාජ ලෙස සකස් කරන නිෂ්පාදනාගාරයක් හැටන් ප‍්‍රදේශයේ දී වටලා තිබේ.

හැටන්, තොටගල, රොසිට් වතු යායේ නිවසක පළිබෝධ නාශක නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්ය.

නුවරඑලිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

තේ සහ එළවළු සඳහා භාවිත කරන අධික මිල ගණන්වලට අලෙවි වන පළිබෝධ නාශක මෙහි දී නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පවසයි.

ඉවත් කළේ පුද්ගලික පළිගැනීමකට නෙමෙයි

ගාල්ල නගරාධිපතිවරයා ඉවත් කිරීම පුද්ගලික පළිගැනීමේ චේතනාවක් නොවූ බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාට එල්ල වූ දූෂණ චෝදනා පදනම් කරමින් ඔහු එම ධූරයෙන් ඉවත් කළ බව හෙතෙම සඳහන් කර සිටියි.

එහෙත් තම දේශපාලන දිවිය නිමා කිරිමේ අරමුණින් ද්වේශ සහගත ලෙස තමා එම ධූරයෙන් ඉවත් කළ බව හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පසුගිය දා චෝදනා කළේය.

Tuesday, February 05, 2013

ජනපතිගෙන් අමෙරිකාව ඉල්ලීමක් කළේ නෑ

ඇෆ්ගනිස්ථානයේ සාමසාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් හමුදා භටයින් කණ්ඩායමක් යවන ලෙසට අමෙරිකාව විසින් ඉල්ලීමක් නොකළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

එබැවින් ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවසීය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ සාමසාධක කටයුතු සඳහා හමුදා භටයින් කණ්ඩායමක් එවන ලෙසට අමෙරිකාව කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව අද (05) පෙරවරුවේ වාර්තා විය.

Friday, January 25, 2013

පින් ළිඳ ළග පවුකාර වැඩක්

නුගේගොඩ ගංගොඩවිල පන්සල් මාවත පින් ළිඳ අසළදී කාන්තාවකට අතවර සිදුවන බවට 119 යන අංකයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය වහාම සිද්ධියට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙකී අපරාධය ඇසින් දුටු පුද්ගලයෙකු හදීසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනූව මිරිහාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි කතක් වන අතර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය පවසයි.

ඔවුන්ට අයත් යැයි කියන ත්‍රීරෝද රථ 2ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

Friday, December 07, 2012

දුම්රිය වර්ජනයෙන් මගීන් අතරමග.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආරම්භ කළ එක්දින සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් අද (07) දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා. 

දිනකට ගමන් කිරීමට නියමිත දුම්රිය වාර 320 න් දුම්රිය ගමන් වාර 18 ක් පමණක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

අද දිනයේ දුම්රිය ගමන්වාර 40 කට ආසන්න සංඛ්‍යාවක් ගමන්කරවීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.

තේරීම් කාරක සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කොන්දේසි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

එම කොන්දේසිවලට තේරීම් කාරක සභාවේ සභාපතිවරයා එකඟවුවහොත් පමණක් තමන් මෙම දෝෂාභියෝග විමර්ශනයේ ඉදිරි කටයුතු සඳහා සහභාගී වන බව ඔවුන් පෙන්වා දී තිබේ.

දෝෂාභියෝගය ගැන අවධානයෙන් ඉන්නේ-අමෙරිකානු තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ අධිකරණයේ දැනට පවතින තත්ත්වය සහ අගවිනිසුරුවරිය පිළිබඳ දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් සිදුවන සෑම පරීක්ෂණයක්ම විනිවිද භාවයකින් සහ නිසි ක්‍රියාවලියකට අනුව සිදුවීම අත්‍යවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කළේය.

එම කටයුතු නීතියට අනුකූලව සිදුකරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් සහ දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටින බව ද අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

අගවිනිසුරුවරිය ගත් තීන්දුව සාධාරණයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තේරීම් කාරක සභාව පැවැත්වෙන අතරවාරයේ දී ඉන් ඉවත්ව යාම සාධාරණ බව නීතීඥයින් පවසයි.

දිවයිනේ සියලුම නීතීඥ සංගම් නියෝජනය කරමින් නීතීඥයින් පිරිසක් අද (07) පෙරවරු 10.00 ට අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ඇතැම් තේරීම් කාරක සභා සාමාජිකයින්ගේ ක්‍රියාකලාපය ‍හේතුවෙන් අගවිනිසුරුවරියට කමිටුව හමුවේ පෙනී සිටීමේ දුෂ්කරතා මතුව ඇති බව මාධ්‍ය හමුවට එක් වු නීතීඥවරුන් ප්‍රකාශ කළේය.

කාන්තා හිංසනයට එරෙහි විවිධ මත පළ කරන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් තේරීම් කාරක සභාව හමුවේ දී අගවිනිසුරුවරියට සලකන ආකාරය ඉතා කණගාටුදායක බව ද ඔවුන් පෙන්වාදුන්නේය.

එමෙන්ම ඊයේ (06) දින ලබාදුන් වාර්තාවට අද දින කරුණු ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කිරීම යුක්ති සහගත නොවන බව එම නීතීඥයින් සඳහන් කරයි.

අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව එම නීතීඥවරුන් පවසයි.

කෙසේ වෙතත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝශාභියෝග යෝජනාව පිළිබඳ විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව අද (07) යළි රැස්වෙයි.

Monday, November 19, 2012

ලක්ෂයක අල්ලසකට පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති හා සැරයන්වරයෙක් මාට්ටු

රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමට තැත්කළ පිටකොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් අදාළ මුදල කොටුව පොලිස් ස්ථාන‍යේදී ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

ස්වර්ණාභරණ අලෙවි සැලකින් සොරකම් කරන ලද රන් භාණ්ඩ තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය සිකුරාදා ලබාදෙන අවස්ථාවේදී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිටකොටුව පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර ටිකිරි බණ්ඩාර වි‍ජේරත්න හා පොලිස් සැරයන් උපුල් වසන්ත කුමාර (49278) යන දෙදෙනාය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය මිස පුද්ගලයින් ආරක්ෂා කරන්න උවමනාවක් නෑ

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම පරම වගකීම යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (19) අය වැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් පුද්ගලයින් ආරක්ෂා කිරීමට තම පක්ෂයට උවමනාවක් නැතැයිද ඔහු කියා සිටියේය.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගය විභාග කිරීම විනිවිද ආකාරයෙන් සිදුවිය යුතු බවත් ඒ පිළිබඳව ජාත්‍යන්තරය අවධානයෙන් සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාගයට ගන්නා බව එහිදි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

Friday, November 02, 2012

අවදානමක් ඇත්නම් දුරකතන ඇමතුමක් දෙන්න

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් එක්ලක්ෂ තිස්දහසක් පමණ අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ‍එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාතර, ගාල්ල, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.

යම් ප්‍රදේශයක අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව තොරතුරු 0112 670 002 යන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

කොත්මලේ සහ ලක්ෂපාන යන ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත.

විමලසුරේන්ද්‍ර, කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇති බව ‍ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල ජලාශය ද වාන් දොරටු විවෘත කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංගමුව වැව ඇතුළු මධ්‍ය ප්‍රමාණයේ වැව් 17 ක් ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.