Sunday, October 18, 2015

ඇවන්ගාඩ් නෞකාවට රහස් පොලීසිය ඇතුල්වෙයි

ගාලු වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව පරික්ෂා කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් එයට ඇතුල්වි තිබේ.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයකින් පසුව අදාළ පරික්ෂණ කණ්ඩායම නෞකාවට ඇතුලු වී ඇති බව  වාර්තා වෙයි.

නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නෞකාවේ ඉදිරි පරික්ෂණ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබුණි.

ඒ  නාවික හමුදාව, ගාල්ල වරාය පොලිසියේ සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙයි.

මෙම නෞකාව තුල ටී. 56 ගිනි අවි ඇතුලු ගිනි අවි 900 කට ආසන්න ප්‍රමාණයක් සහ උණ්ඩ ලක්ෂ 2 ක ප්‍රමාණයක් පවතින බව  නාවික හමුදාව මිට පෙර ප්‍රකාශ කළේය.

පසුගිය 05 වනදා ශ්‍රී ලංකා මුහුදු සීමාට ඇතුලු වූ මෙම ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා ලබාදුන් තොරතුරු සහ නෞකාව පිළිබඳ පැවති තොරතුරුවල පරස්පරතාවක් හේතුවෙන් නෞකාව සිය බාරයට ගැනිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

පසුව නාවික හමුදාව විසින් අදාළ නෞකාව සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කළ අතර එහි වාර්තාව පසුගියදා ආරක්ෂක ලේකම්වරයා වෙත බාරදෙනු ලැබුණි.

අදාළ වාර්තාව මේ වන විට අමාත්‍යාංශය මගින් පත් කළ විශේෂ කමිටුවක් මගින් විශ්ලේෂණය කරමින් පවතින බව  වාර්තා වෙයි.

සිරකරුවන් නිදහස් කිරිම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්!

බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට ලබන මස 07 වන දිනට ප්‍රථම විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දුන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා නොමැති එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියළු දෙනා සඳහා අවශ්‍ය විසදුම් ලබාදිමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවයි.

මේ අතර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පසුගිය සදුදා සිට උපවාසයක් ආරම්භ කරන ලදී.

මෙම උපවාසය මේ දක්වාත් ක්‍රියාත්මක වන අතර ඔවුන් පවසන්නේ තමන්ව දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින අතර එය නීතිවිරෝධි ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙන්ම දෙමළ  ජාතික සන්ධානයේ නියෝජිතයින් ද මෙම සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා බන්ධනාගාරය වෙත ගොස් තිබුණි.

මේ අතර අද දිනයේදී ද දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් මෙම රැඳවියන් සමඟ සාකච්ඡා කිරිම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමට නියමිතව තිබේ.

මර්වින්ට මරණ තර්ජනලු!

තමන්ට මරණිය තර්ජන එල්ල කරමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් නාරාහේන්පිට පොලිසියේ පැමිණිල්ලක් ද සිදු කර ඇති බව හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Wednesday, October 01, 2014

බස් රථ ගැන පැමිණිලි කරන්න SMS සේවාව අරඹයි

පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි හෙට(01) සිට තම ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීමට හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැන නගින ගැටලු මහජනතාවගේ පෞද්ගලික දුරකථනය හරහා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 071 655 0000 යන අංකය වෙත කෙටි පණිවිඩ යොමු කළ හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියා පදිංචි අංකය, මාර්ග අංකය, වේලාව, ආදීය පැහැදිලිව සඳහන් කරන මෙන් එම අමාත්‍යාංශය මහජනතාවයෙක් ඉල්ලීමක් කරයි.

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පුද්ගලික සේවා අමාත්‍යාංශය මෙලෙස වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

හැටන්-නුවරඑළිය පාර වැසෙයි

හැටන්-නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිරවී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.

ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නේ නෑ

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද(30) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිණිස අමෙරිකාව බලා පිටත්වගොස් සිටි රජයේ මන්ත්‍රීවරයෙකු විසින් ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමක් සිදුකළ බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණි.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවට නිල නොලත් මාධ්‍ය සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමු‍වෙදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන ක්‍රිස් නෝනිස් මහතා කිසිදු ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී නොමැති බවයි.

Monday, September 29, 2014

ශ්‍රි ලංකාවට සාර්ථක දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්න

සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ශ්‍රි ලංකාවට සාර්ථක දේශපාලන විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මුන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මුන් මහතා හමුවු වු අවස්ථාවේදී එ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ(27) රාත්‍රී නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී මෙම හමුව සිදුවු බවයි.

මෙම හමුවේ දී යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපතිවරයාට ප්‍රසංශාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සහ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදි ජනාධිපතිවරයා බැන්කී මූන් මහතාව දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම හමුවේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳව සහ හිටපු එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කිරීමේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාව දැනුවත් කර තිබේ.



මේ අතර ශ්‍රී ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව සියැසින් දැක ගැනීම සඳහා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැන්කී මුන් මහතාට ආරාධනයක් ද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද ඊයේ නිව්යෝර්ක්හිදි හමුවුණි.

එහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ පැවැත්වු සාකච්ඡා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා රජය දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මෙහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් අතර මෙහිදි සාකච්ඡා වී ති
බේ

ධීවර බෝට්ටුවක් ගිනි ගනියි - 5ක් රෝහලේ

ධීවර බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(28)  පස්වරුවේ රැකව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් එම අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලැබුවන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ගිනි ගැනීමට හේතුව බෝට්ටුවේ එන්ජිමේ හටගත් දෝෂයක් විය හැකි බව පොලිසිය පැවසුවේය.

Sunday, September 28, 2014

ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?


ලෝකේ වටේ දරුනු විශේශ හමුදා කීපයක් තියනවා. මේ සෝල්ජර්ස්ලා හිතා ගන්න බැරි ට්‍රේනිං කරනවා ඒ යුනිට්ස් වලට තෝරගන්න. මේ ලිස්ට් එකේ දරුනුම විශේශ හමුදා පහක් තියනවා.
 

ස්පෙට්ස්නැස්.

රශියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්‍රේන් කරනකොට ඇට කැඩෙනකන් ගහගන්නවා. ඊට පස්සේ ආය නැගිටල යනවා. ගොඩක් මිනිස්සු කියන විදිහට මේ මිනිස්සු ලෝකෙ ඉන්න තදම හමුදාව. ස්පෙට්ස්නැස් සෝල්ජර්ස්ලට උගන්නන්නේ වේදනාව අමතක් කරන්න නෙමෙයි – වේදනාවට ආදරේ කරන්න.

ශයටෙට් 13.
ශයටෙට් 13 ඊස්‍රයෙල් වල ඉන්න විශේශ හමුදාවක්. මේ කට්ටිය 1972 ඔලිම්පික්ස් වල ඊස්‍රයෙලි මිනිස්සු මරපු කට්ටිය ලෝකේ වටේ ගිහිල්ලා හොයාගෙන මැරුවා. ශයටෙට් 13 ‘ක්‍රව් මගා’ කියලා ක්‍රමයක් පාවිච්චි කරලා ගහනවා.


ප්‍රංශේ ෆොරින් ලීජන්.

ෆොරින් ලීජන් එක පිටරට ඉන්න කට්ටිය ගන්න ආමි යුනිට් එකක්. ලීජන් එක 1831 පටන් ගත්තේ. ට්‍රේනිං පාස් වෙන්න එක වැඩක් කිලෝමීටර් 120ක් බර කිට් එකක් දාගෙන මාච් එක. ඒ කොළඹ ඉඳලා නුවර දුරක්. කොහෙන් ආවද, කවුද කියලා ලීජන් එකට වැඩක් නෑ. ලීජන් කෑම්ප් එකකට ගිහිල්ල ටෙස්ට් පාස් කරන්න පුලුවන් නම් තැනක් දෙනවා. සුදු තොප්පියෙන් ලීජන් එක අඳුර ගන්න පුලුවන්.

නේවි සීල්ස්.

ඇමරිකාවේ සීල්ස්ලා නේවි එකේ යුනිට් එකක්. මේගොල්ලො ලඟදි සොමාලි මුහුදේ මංකොල්ල කන මිනිස්සු වෙඩි තියලා නැවැත්තුවා. ට්‍රේන් කරනකොට මුහුදේ කිලෝමීටර් ගානක් පීනන්න ඕනි. ඔසාමා බින් ලාඩන් ඇල්ලුවේ සීල් යුනිට් එකක්.

එස්.ඒ.එස්.

එස්.ඒ.එස්. කියන්නේ ‘ස්පෙශල් එයා සර්විස්’. එංගලන්තේ, කැනඩා, ඕස්ට්‍රේලියා සහ නව සීලන්තේට එස්.ඒ.එස්. යුනිට්ස් තියනවා. එක ට්‍රේන්ං පාට් එකක කිලෝමීටර් 64ක් කඳු ඇතුලෙන් මාච් කරන්න ඕනි කිලෝග්‍රෑම් 20ක් උස්සගන. එස්.ඒ.එස්. සෝල්ජර්ස්ලට මූන ජනතාවට පෙන්නන්න දෙන්නෙ නෑ.




අඩු කළ විදුලිබිලේ සහනය ලබන මාසයේ සිට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශයට පත් කළ සියයට 25ක විදුලි ගාස්තු සහනය සැප්තැම්බර් 16 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඊළඟ විදුලි බිලෙන් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ප‍්‍රකාශ කළා. ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරිය සදහන් කළේ.

ජනපති ලබන සතියේ වතිකානුවට.

අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ් ශ‍්‍රී ලංකා සංචාරයට අදාළ නිල ආරාධනය සිදුකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සතියේදී වතිකානුව බලා පිටත්ව යාමට නියමිතයි. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති ප‍්‍රකාශක කාර්යාලය ද  එය තහවුරු කළා. ජගත් මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා ගිය ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලබන වසරේ ජනවාරි 13 වන දා  උදෑසන 9ට ශ‍්‍රී ලංකාවට සැපත් වන බව මීට පෙර අනාවරණය කෙරුණා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කෙරුණේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වන පාප් වහන්සේ විවෘත රථයකින් කොළඹ - මීගමුව මාර්ගය ඔස්සේ කොළඹට පැමිණීමට නියමිත බවයි. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සර්වආගමික නායකයන් සමඟ ද උන්වහන්සේ සාකච්ඡා පවත්වනු ඇති.

ජනවාරි 14 වන දා උදෑසන 8ට කොළඹ ගාලූමුවදොර පිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් දිව්‍ය පූජා යාගයක් පවත්වන අතර එදිනම මරදමඩු දේවස්ථානයට ද උන්වහන්සේ වැඩම කිරීමට නියමිතයි. 

5 ශිෂ්‍යත්වයෙන් ඇඹිලිපිටියේ වෙනුජ නිම්සත්ට දිවයිනේ මුල්තැන

අද (28) ප‍්‍රකාශයට පත් කෙරුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඇඹිලිපිටිය කනිෂ්ඨ ද්වීතියික පාසලේ ඩබ්ලිව්. ඒ. වෙනුජ නිම්සත් ශිෂ්‍යයා සමත්ව සිටිනවා. ඒ ලකුණු 199 ක් ලබා ගනිමින්.

ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානයට පත් වෙනුජ නිම්සත්,   ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ එදිනෙදා වැඩ අතපසු නොකර සිදුකිරීමෙන් තමන් මෙම ජයග‍්‍රහණය හිමිකර ගත් බවයි.

පසුගිය අගෝස්තු මස 17 වැනිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන් ලක්ෂ 27,648 ක් මෙවර පෙනී සිටි අතර ඊයේ නිකුත් වූ විභාගයේ ප‍්‍රතිඵල 
www.donets.lk වෙබ් අඩවියෙන් නිවැරදි අපේක්ෂක අංකය ඇතුළත් කර ලබාගත හැකි වනවා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගත් පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ එච්.එම්. මාලක නෙත්මාල් තිලකරත්න දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

එමෙන්ම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්් බෙම්මුල්ල - පිටියේගෙදර ප‍්‍රාථමික විද්‍යාලයේ සහනි යශෝධරා සහ මාවනැල්ල සහීරා මධ්‍ය මහා විදුහලේ මොහොම්මදු නිස්වාර් ෆාතිමා ලකුණු 197 බැගින් ලබා ගෙන තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. සිව්වන ස්ථාන 5 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පවතින අතර, ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196 ක්. අගුණකොලපැලැස්ස අලූත්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ අධීෂ ආලෝක, බදුල්ල විහාරමහා දේවි බාලිකා මහා විදුහලේ දිලිනි තිසාරා, පොකුණුවිට - කුළුපන කනිෂ්ඨ විද්‍යාලයේ නිසාරා ද සිල්වා, ගම්පහ යශෝධරා දේවි බාලිකා පර්ෂද විදුහලේ චරිත්මි සෙනල්යා සහ කොළඹ - වෙස්ලි විද්‍යාලයේ රුචිර ෂෙහාන් එම ස්ථාන ලබා ගත්තා.

ඊයේ අන්තර්ජාලයට නිකුත් කෙරුණු ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල කොළඹ හා ශී‍්‍ර ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල් ප‍්‍රතිඵල ලේඛණ අදාළ පාසල් ප‍්‍රධානීන්ට විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ ලබාගත හැකියි. අනෙකුත් පාසල්වල ප‍්‍රතිඵල ලේඛණ එම පාසල් වෙත අද දින තැපැල් කර යැවීමට කටයුතු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවත් සිදුකිරීමට අවශ්‍ය නම් ලබන ඔක්තෝම්බර් මස 15 වැනි දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින්ම අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ති‍්‍රක්කවලට අදාළව අවම ලකුණු සීමා ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව වන්නේ ලකුණු 163 ක්. හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව 161 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිංහල මාධ්‍යයෙන් ලකුණු 160 ක අවම ලකුණු සීමාවක් පවතින්නේ අම්පාර, ති‍්‍රකුණාමලය, පුත්තලම, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කවලටයි. නුවරඑළිය, මන්නාරම, වව්නියාව, මුලතිව් දිස්ති‍්‍රක්කවලට අදාළව සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ ලකුණු 159 යි. යාපනය, කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව සඳහන් කර ඇත්තේ ලකුණු පිළිවෙලින් 158 ක් සහ 157 ක් ලෙසයි.