Sunday, October 18, 2015

ඇවන්ගාඩ් නෞකාවට රහස් පොලීසිය ඇතුල්වෙයි

ගාලු වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව පරික්ෂා කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් එයට ඇතුල්වි තිබේ.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයකින් පසුව අදාළ පරික්ෂණ කණ්ඩායම නෞකාවට ඇතුලු වී ඇති බව  වාර්තා වෙයි.

නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් නෞකාවේ ඉදිරි පරික්ෂණ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබුණි.

ඒ  නාවික හමුදාව, ගාල්ල වරාය පොලිසියේ සිදු කළ පැමිණිල්ලකින් අනතුරුවය.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙයි.

මෙම නෞකාව තුල ටී. 56 ගිනි අවි ඇතුලු ගිනි අවි 900 කට ආසන්න ප්‍රමාණයක් සහ උණ්ඩ ලක්ෂ 2 ක ප්‍රමාණයක් පවතින බව  නාවික හමුදාව මිට පෙර ප්‍රකාශ කළේය.

පසුගිය 05 වනදා ශ්‍රී ලංකා මුහුදු සීමාට ඇතුලු වූ මෙම ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා ලබාදුන් තොරතුරු සහ නෞකාව පිළිබඳ පැවති තොරතුරුවල පරස්පරතාවක් හේතුවෙන් නෞකාව සිය බාරයට ගැනිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

පසුව නාවික හමුදාව විසින් අදාළ නෞකාව සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කළ අතර එහි වාර්තාව පසුගියදා ආරක්ෂක ලේකම්වරයා වෙත බාරදෙනු ලැබුණි.

අදාළ වාර්තාව මේ වන විට අමාත්‍යාංශය මගින් පත් කළ විශේෂ කමිටුවක් මගින් විශ්ලේෂණය කරමින් පවතින බව  වාර්තා වෙයි.

සිරකරුවන් නිදහස් කිරිම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්!

බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට ලබන මස 07 වන දිනට ප්‍රථම විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දුන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා නොමැති එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියළු දෙනා සඳහා අවශ්‍ය විසදුම් ලබාදිමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවයි.

මේ අතර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පසුගිය සදුදා සිට උපවාසයක් ආරම්භ කරන ලදී.

මෙම උපවාසය මේ දක්වාත් ක්‍රියාත්මක වන අතර ඔවුන් පවසන්නේ තමන්ව දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින අතර එය නීතිවිරෝධි ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙන්ම දෙමළ  ජාතික සන්ධානයේ නියෝජිතයින් ද මෙම සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා බන්ධනාගාරය වෙත ගොස් තිබුණි.

මේ අතර අද දිනයේදී ද දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් මෙම රැඳවියන් සමඟ සාකච්ඡා කිරිම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමට නියමිතව තිබේ.

මර්වින්ට මරණ තර්ජනලු!

තමන්ට මරණිය තර්ජන එල්ල කරමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් නාරාහේන්පිට පොලිසියේ පැමිණිල්ලක් ද සිදු කර ඇති බව හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේය.