Friday, October 12, 2012

ආසනික් බලපෑම පාර්ලිමේන්තුවටත් යයි

රජරට ප්‍රදේශ කිහිපයක පැතිර යන රෝගී තත්ත්වයට ආසනික් නැමැති මුලද්‍රව්‍යයේ බලපෑමක් තිබේද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීමට තීරණය කොට ති‍බේ.

නොවැම්බර් මස 22 වෙනිදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර මෙම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

තත්ත්වයෙන් බාල කෘෂි රසායන මගින් සිදුවන විපත් පිළිබඳව විද්වත් සමුළුවක් ඊයේ (11) පැවැත්විණි.

ආණ්ඩුවට තමන් වහන්සේගේ මන්ත්‍රී ධුරයේ වටිනාකමක් නොමැති බව එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

හිටපු නාවික හමුදාපතිට ජනපති උපදේශක තනතුරක්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සමුද්‍රීය කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ.

අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා මෙරට 17 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ඔහු එම ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා පසුගිය 26 වනදා නාවික හමුදා ධුරයෙන් විශ්‍රාම ගිය අතර එම තනතුර සඳහා වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පත්විය.

උඩරට මැණිකේ තැපැල් දුම්රියේ රියදුරු ඇතුළු 6 කගේ වැඩතහනම්.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රියේ රියදුරු ඇතුළු සේවකයන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. 

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්. රත්නායක සඳහන් කළේ මෙම තැපැල් දුම්රියේ රියදුරු, රියදුරු සහායක, නියාමක, උප නියාමක, එම දුම්රියේ පිටුපස එන්ජින් රියදුරු සහ එහි රියදුරු සහායකගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

Thursday, October 11, 2012

හෙට කොළඹ කොටසකට වතුර නෑ

හෙට (12) දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට පැය 12 ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මාළිගාවත්ත, ආමර් වීදිය, ඩෑම් වීදිය, ශාන්ත සෙබස්තියන් වීදිය සහ ඒ අවට ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත‍.

එබැවින් හෙට දිනයේ පස්වරු 8.00 සිට 13 වන දින පෙරවරු 8.00 තෙක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජනාධිපති නීතීඥවරුන් 21 ක් පත්වෙති

ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

අද (11) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී මෙම පත්වීම ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා සඳහන් කළේය.

ලිපිය ගැන සරසවි ඇඳුරන් සෑහීමට පත්වෙන්නේ නෑ


මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවූ ලිපියේ සඳහන් කරුණු පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටී.


එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පැවසුවේ රජයේ ස්ථාවරය පිළිබඳව තම සාමාජිකයින් බහුතරයකගේ පැහැදීමක් නොමැති බව ය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එවූ ලිපියෙන් තම ඉල්ලීම් සපුරාලීමට ප්‍රමාණවත් සහායක් ‍නොලැබෙන බව ඇතැම් සාමාජිකයින්ගේ මතය වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය .

ආචාර්ය මෙන්ඩිස් මහතා පැවසුවේ විධායක කමිටුවේ බහුතර එකගතාව මත රජය සමග පස්වරුවේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවීම පිළිබදව තීරණයක් ගන්නා බව ය .

පොලිස් සැරයන් මුදල් පසුම්බියට විදලා.

බස් රථයක ගමන්ගත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරිමට උත්සාහ දැරූ පොලිස් සැරයන්වරයෙකු කෑගල්ල පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 කෑගල්ල නගරයට ආසන්නයේදී බස් රථයේ ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ මුදල් පසුම්බිය සොරකම් කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් විසින් මොහුව අල්ලා පොලීසියට බාරදී තිබෙනවා. 

අනතුරුව සිදුකරන ලද ප‍්‍රශ්න කිරිම්වලින් අනාවරණය වුණේ සිවිල් ඇදුමෙන් සැරසී සිටි මෙම පුද්ගලයා පින්දෙනිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු බවයි.

සරසවි ඇඳුරු වර්ජනය අවසන් වෙයිද ?


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීම මේවන විට නාවල විවෘත විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ.


එහි ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනීමට අපේක්ෂිත බව ය.

වැටුප් ගැටළුව විසදීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත එකඟතා සහ රජයේ පාර්ශවයන් සමග කළ සාකච්ඡාවල එකගතා පිළිබදව විධායක කමිටු රැස්වීමේදී අවධානය යොමුකරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලයේ ගින්නක්


වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ ජාවත්තේ පිහිටි, ප්‍රධාන කාර්යාලයේ ඊයේ රාත්‍රීයේ ගින්නක් ඇතිවී තිබේ.


ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ පොලීසිය කල දැනුම්දීමකට අනුව විදුලිබල මණ්ඩලය සමග එක්ව ගින්න මැඩපැවැත්වූ බව ය.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය

Wednesday, October 10, 2012

යුද හමුදාව 63 වන සංවත්සරය සමරයි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව අද සිය 63 වන සංවත්සරය සැමරුවා. 1949 වසරේ ආරම්භ වුණු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා ඒකකද සහිතව දැනට පවතින රෙජිමේන්තු සංඛ්‍යාව 24 ක්.

 63 වන යුද හමුදා සංවත්සර සැමරුම යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩාංගණයේදීයි. 

එය  හමුදා පෙළපාලියකින් ද වර්ණවත් වුණා. අනතුරුව පැවති උත්සවය අමතමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය කියා සිටියේ සංහිඳියාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව දැන් සිදුකරන මෙහෙවර අන්තර්ජාතික ප‍්‍රජාවද අගය කරන බවයි.

සරසවි අර්බූදය ගැන හෙට ඒකාබද්ධ ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බූදය පිළිබඳ හෙට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
 
අමාත්‍යවරයා සඳහන් කළේ, මේ පිළිබඳව හෙට දිනයේදී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවයි.

විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග යටතේ ඊයේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද මෙම අදහස් පළ කළේය.

බස්නාහිර පළාත් උපාධිධාරීන් ස්වේච්ඡා පදනමින් එපා

බස්නාහිර පළාත සඳහා තෝරාපත් ගුරුවරුන් පිරිසක් ස්වේච්ඡා පදනමින් සේවයට බඳවා ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බැව් ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.

බස්නාහිර පළාතේ ගුරු සේවයේ පුරප්පාඩු සඳහා පත්වීම් ලබාදීමට 2011 වසරේදී පැවැත්වූ තරග විභාගයේ ප‍්‍රතිඵල මත මේ වන විට පවතින පුරප්පාඩු මත එක් කොටසකට ස්ථිර පත්වීම් ලබා දී ඇත.

එම විභාගය සමත් තවත් උපාධිධාරීන් පිරිසක් මේ වන විට සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවා තෝරා ගෙන ඇත. මෙසේ තෝරාගත් උපාධිධාරීන් පිරිස මාස 6 ක කාලයක් ස්වේච්ඡා ගුරුවරුන් ලෙස කටයුතු කළ යුතු බවට පළාත් අධ්‍යාපන බලධාරීන් ප‍්‍රකාශ කර තිබූ අතර, එම පත්වීම් අපේක්ෂකයින් ස්වේච්ඡා ගුරුවරු ලෙස පාසල්වලට අනුයුක්ත කිරීමට මේ වන විට පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් කටයුතු යොදමින් සිටියි.

එමෙන්ම එම පත්වීම් අපේක්ෂකයින්ට, තමන්ට පහසු ආසන්න පාසල්වල පුරප්පාඩු තිබේ නම් එම පුරප්පාඩු වෙනුවට ස්වේච්ඡා ගුරුපත්වීම් ලබාදෙන බව ද ප‍්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ 2012.10.10 දින පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සමග පැවති සාකච්ඡාවකදී ලංකා ගුරු සංගමය විසින් විමසීමක් කරන ලදී. එහිදී ලේකම්තුමිය ප‍්‍රකාශ කර සිටියේ අදාළ පත්වීම් ලබාදීමට පුරප්පාඩු ඇතිවන්නේ 2012 දෙසැම්බර් 31 දිනෙන් පසු බැවින් එතෙක් එම ගුරුවරුන් ස්වේච්ඡා පදනමින් පාසල්වලට අනුයුක්ත කරන බවත්, අදාළ පත්වීම් ලබාදීමට ස්වේච්ඡා පදනමින් සේවය අවශ්‍ය නොවන බවත්ය.

එතුමිය එසේ ප‍්‍රකාශ කළද මේ වන විට පත්වීම් අපේක්ෂිත උපාධිධාරීන්ට මෙම තත්ත්වය තුළ ස්වේච්ඡා පත්වීම් වෙනුවට ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් යම් ලෙසකින් 2012.12.31 ට පෙර ඔවුන්ගේ සේවය අවශ්‍ය නම් ඔවුන්ට ඒ සඳහා වැටුප් හා දීමනා ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි. එසේ නොමැතිව ඔවුන්ගේ සේවය කිසිදු වැටුප් හා දීමනා ලබාදීමකින් තොරව ලබාගැනීම දැඩි අසාධාරණ කටයුත්තක් බවද ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටියි.