Wednesday, October 01, 2014

බස් රථ ගැන පැමිණිලි කරන්න SMS සේවාව අරඹයි

පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි හෙට(01) සිට තම ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීමට හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැන නගින ගැටලු මහජනතාවගේ පෞද්ගලික දුරකථනය හරහා ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 071 655 0000 යන අංකය වෙත කෙටි පණිවිඩ යොමු කළ හැකි බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.

බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී බස් රථයේ ලියා පදිංචි අංකය, මාර්ග අංකය, වේලාව, ආදීය පැහැදිලිව සඳහන් කරන මෙන් එම අමාත්‍යාංශය මහජනතාවයෙක් ඉල්ලීමක් කරයි.

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පුද්ගලික සේවා අමාත්‍යාංශය මෙලෙස වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

හැටන්-නුවරඑළිය පාර වැසෙයි

හැටන්-නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගය අවහිරවී තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.

ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නේ නෑ

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද(30) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිණිස අමෙරිකාව බලා පිටත්වගොස් සිටි රජයේ මන්ත්‍රීවරයෙකු විසින් ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමක් සිදුකළ බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණි.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවට නිල නොලත් මාධ්‍ය සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමු‍වෙදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන ක්‍රිස් නෝනිස් මහතා කිසිදු ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී නොමැති බවයි.